දැන් කළ යුත්තේ කුමක්ද ?

දැන් කළ යුත්තේ කුමක්ද ?

ජාති, ආගම් , භාෂා , ප්‍රාදේශීය , උගත් නූගත් , දුප්පත්  පොහොසත් , සුදු / දුඹුරු කරපටි , ස්ත්‍රී පුරුෂ , LGBT  ,  හෝ දේශපාලන  මතිමතාන්තර යනාදි කිසිදු භේදයකින් තොරව පොදු  ජනතාවගේ විශේෂයෙන්ම  මැදිවියට නොපැමිණි තරුණ තරුණියන්ගේ  හා යව්වන යව්වනියන්ගේ   මේ  දැවැන්ත විරෝධතා  නොසලකා හැරිය හැක්කේ කාටද
   ⁣ සභාපති මාඕ සේතුං වරක් කියූ පරිදි ලෝකය අප සැමට අයත් වුවත් අවසාන විග්‍රහයේදී ලෝකය අයත් වන්නේ තරුණ තරුණියන්ට  හා  යව්වන යව්වනියන්ට පමණක්ම බැවින් එනම්   අපේ රටේ පමණක්  නොව ලෝකයේම  අනාගතය රඳා පවතින්නේ  තරුණ තරුණියන් හා යව්වන යව්වනියන්ට හෙයින් ඔවුන්ගේ හඬ කිසිසේත්ම යටපත් කළ නොහැක .  නොසලකා හැරීම නොකළ යුතුය .
  එසේවුවද  මේ උද්ඝෝෂණ හා විරෝධතා  ප්‍රචණ්ඩත්වය කරා යෑම අත්‍යවශ්‍යයෙන්ම වැළැක්විය යුතුය .
විරෝධතාවලදී සංගීත භාණ්ඩ වැයීම , නර්තනය  හා ඡායාරූප ගැනීම  ලෝකයේම  දැකිය හැකි  ප්‍රවණතාවකි .
    එනමුදු විරෝධතා හා උද්ඝෝෂණ අවස්ථාවලදී මත්වීම ප්‍රතික්ෂේප  කළ යුතුය . එය ප්‍රචණ්ඩත්වයට මාර්ගයයි .මෙවැනි තැන්වලදී මත්පැන් වලින් සිදුවන්නේ ආත්ම දමනය හා ස්මරණය නැතිවීමයි .අනෙක මෙවැනි උද්ඝෝෂණ  "ආතල් එකට " කරන දෙයක් බවට හැඟීමක් , මතයක් ඇතිවන ආකරයේ හැසිරීම්ද  යෝග්‍ය  නොවේ .  එමෙන්ම අසභ්‍ය  වචන  , වෛරී  කථනය ,පොදු ජනයාට බධාවන සේ මාර්ග අවහිර කිරීම   යනාදිය පිටු දැකිය යුතුය . කඩාකප්පල්කාරීන් හා ප්‍රචණ්ඩත්ව ලෝලීන් පලවා හැරිය යුතුය .
    . පවත්නා ආණ්ඩුවට එරෙහි ස්වකීය විරෝධතා  ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය  කිරීමට ජනතාවට ශුද්ධවූ අයිතියක් තිබේ .එය කිසිවෙකුට පැහැර ගත නොහැකිය .
දැන්⁣ මේ ගැන මගේ   මගේ කියවීම මෙහි ලියමි
  මේ ඉල්ලීම්  පිළිබඳ  මගේ මතය ජනප්‍රිය  මතයට යම්තාක් දුරකට වෙනස්වේ .
මට පෙනෙන අයුරින් මේ ගැටලුවට තාවකාලික ක්ෂණික හා දිගුකාලීන  විසඳුම් දිය යුතුවේ
එහි තාවකාලික විසදුම ඇත්තේ පවත්නා ව්‍යවස්ථාමය   රාමුව තුළමය . එය කළ හැක්කේ 225+1  එක්ව අවංක  හැගීමෙන් යුතුව  ජන අභිලාෂයට ගරු කරමින් සාකච්ඡා හා සම්මුති මගිනි. දැනට යම් පිරිසක් පෙන්වා දී ඇති අයුරින්   මේ ගැටලුව විසඳීමට හැකි විද්වතුන් කිහිප දෙනකු  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරගෙන කෙටි කලක් සඳහා ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පත්කර  ගැනීම යෙහෙකි යයි සිතමි . මක්නිසාද යත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය තුළවූ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට එනම්  225ටද   පවරා ඇති බැවින් මේ අවස්ථාවේදී ඉන් බැහැර වීමේ හැකියාවක් නොපෙනෙන හෙයිනි .  
              (එසේත් නැත්නම් මේ අර්බුදය විසදීම සඳහා  වහාම  සුදුසු පියවර ගන්නා ලෙස ආණ්ඩුවට නියමයක්  ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමේ හැකියාවක්  තිබේ දැයිසොයා බැලිය යුතුය .. බොහෝ  දුරට මෙය  යථාර්ථයක් නොවන්නට ඉඩ තිබේ   )
    ජනතාව විසින් ව්‍යවස්ථානුකූලව  225ට  පවරාඇති නියෝජනය , ආපසු පවරා ගෙන සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කර යම් වෙනත් පිරිසක් විසින් ක්‍රියාත්මක කිරීමට යෑම නොපැතිය යුතු අරාජිකත්වයට , කෲර ඒකාධිපති පාලනයකට හෝ  මිලිටරීකරණයකට මග පාදනු ඇත.
         එහෙයින් තම තමන්ගේ පක්ෂයේ  මන්ත්‍රී  ධුර සංඛ්‍යාව    , පසුගිය ඡන්ද විමසීම් වලදී ලද සංඛ්‍යාව , අනාගතයේදී ලැබෙන මන්ත්‍රී ධුර  සංඛ්‍යාව  ,  ලබන සැරේ ලැබෛන ඡන්ද සංඛ්‍යාව  ගැන පුරෝකථන, බලය තවදුරටත් පවත්වා ගැනීම , බලය  තමන්ට ලබා ගැනීම , අනාගත සිහින    මේ අවස්ථාවේ තාවකාලිකව  අමතක කර දමා එක්ව අවංකව , නිහතමානීව  අපේ රටේ වර්තමානය  හා අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන ලෙස 225ට බල කරමු .
        .එමගින්  මේ දැවෙන  විදේශ විනිමය හිඟය  ප්‍රධාන ආර්ථික  ගැටලුවලට හා අත්‍යවශ්‍ය  භාණ්ඩ හිඟයට විසදුම් ලබාදිය යුතුය . එම භාරකාර ආණ්ඩුව  ගැටලුවලට පිළියම් යොදා  රෝගය නිසි ලෙසම සුව වීමේ ලකුණු පෙනෙන  තෙක්  පවත්වා ගැනීම අවශ්‍ය  වනු ඇත.
              මධ්‍ය කාලීන විසදුම ලෙස  පාර්ලිමේන්තුවට බලය පැවරෙන දහහතවන හා දහනවවන සංශෝධන වලට ප්‍රමුඛතාව  දෙන කෙටිකාලීන ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමත්  පහත දැක්වෙන අත්‍යවශ්‍ය  මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ  සිදු කිරීමත්  අවශ්‍ය වන අතර බොහේ කලක් ඉකුත්වීමට පෙර ( මගේ මතය වන්නේ තාකාලික හා මධ්‍යකාලී  කටයුතු ඉටුකර  භාරකාර රජවට අවුරුද්දක්වත්  අවශ්‍ය  බවය .) ජනමතවිචාරණයක් හෝ මහා මැතිවරණයක් මගින් නව නියෝජිතයන් පත් කරගෙන ,  සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය  සහිත, පක්ෂ  නායකයන්ගේ ඒකාධිපති  බලයට යට නොවූ   1978 පෙර පැවති ආකරයේ ශක්තිමත්  පාර්ලිමේන්තුවක් හරහා දිගුකාලීන විසඳුම් සොයා ගත යුතු වෙමු
එම පාර්ලිමේන්තුව  නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකටත් වඩා සහභාගිත්ව පාර්ලිමේන්තුවක්  වියයුතුය . මක් නිසාද යත්  පාර්ලිමේන්තු ක්‍රමය තුළ සැබෑ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය  නැතහොත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ( ප්‍රජා නියෝජන තන්ත්‍රවාදය) නැති විට  මෙයට  බොහා් කලකට පෙර ජින් ජැක් රූසෝ  කියූ බවට ප්‍රචලිත මතු සදහන් උද්ධෘතය  හා එවැනිම තවත් උද්ධෘත සත්‍ය බව පෙනී යාහැකි බැවිනි
  * කිසියම් කාලපරිච්ඡේදයකට වරක් තෝරා පත් කරගන්නා බොහෝ නියෝජිතයන් අතින් සිදුවන්නේ තමන් අභිමත දෙයක් කිරීමත් ඒ කාලය තුළ මහජනතාවට බොරුදෙසා බෑමත්ය   .


| හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ facebook සටහනකි. |