තාරුකා අවලංගුයි ! ප්‍රදීපාගාර වෙත එන්න !! - රවී සිරිවර්ධන 

තාරුකා අවලංගුයි ! ප්‍රදීපාගාර වෙත එන්න !! - රවී සිරිවර්ධන 

රවී සිරිවර්ධන ලංකාවේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ තරුණ ක්‍රියාධරයෙකි. කවියෙකි. ගීත රචකයෙකි. සුනිල් එදිරිසිංහ ගැයූ `මල් පිපිලා එදා වගේ`, දයාන් විතාරණ ගැයූ, `ඔබෙ සුසුම් පවන්`, `වසත් කාලය මනරම්`, `ඔබෙ නීල නෙත් නිම්නයේ`, දීපිකා ප්‍රියදර්ශනී ගැයූ,`නෙතු කඳුළු කඳුළු කඳුළු`, `මේ සුන්දර රාත්‍රියට`, ක්‍රිෂාන්ත එරන්දක ගැයූ, `ඉක්මන් නොවුණා නම් අපි`, ජානක වික්‍රමසිංහ ගැයූ `රංචු ගැහෙන කොලු රෑනේ` වැනි ගීත, රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. දැන් රවී තවත් අලුත් වැඩකට සැරසෙයි. comrade.lk මේ කතාබහ ඒ නිමිත්තෙනි. 

16996089 10210603635998968 8755204451068272835 n
 2ldvtx2Q 400x400comrade.lk - රවී ! කියන්නකෝ බලන්න ඔබේ නිර්මාණ ජීවිතේ ඉතිහාස පෙළගැස්ම සැකෙවින්..? 

රවී - නිර්මාණ ජීවිතේ නම් කයිවාරුවට තරම් දෙයක් කළා කියල මට හිතෙන්නෙ නෑ.කරන්න යන කවිපොත මගේ තුන් වෙනි කවි පොත.ගීත පොත් දෙකක් කරල තියනව. එකකට රාජ්‍ය සාහිත්‍ය  සම්මානෙත් ලැබුණ.ඒ එක්කම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ සංගීත දිවිය පිළිබඳ ශාස්ත්‍රීය සංස්කරණයක් කළා. මම ලියපු ගීත ඇතුළත් සංගත තැටි හතරක් නිකුත් කරල තියනව. ඉන් එකක් 2015 වසරෙ හොඳම සංගත තැටි හැටියට රාජ්‍ය සංගීත සම්මානය හිමි වුණා. චිත්‍රපට දෙක තුනකට පසුබිම් ගීත ලියල තියනව. ප්‍රවීණ නවීන ගායක ගායිකාවො 50කට විතර ගීත ලියල තියනව. මම නොදන්න මිනිස්සු මගේ ගීත දන්නව. ලිව්වෙ මම කියල නොදැන ඒව ගැන ආසාවෙන් මමත් එක්කම කතා කරන කොට ඒක වෙනම රහක්. පොත් හයයි, සංගත තැටි හතරයි, ලියල පටිගත උන සිංදු එකසිය තිහයි තමයි ඉතුරුවකට තියෙන්නෙ. ඕවට රාජ්ය සම්මාන තුනකුත් ලැබිල තියනව. ඔය කිව්ව දේවල්  ගැන තමයි ඉතින් කයිවාරු ගහන්න තියෙන්නෙ.

2ldvtx2Q 400x400comrade.lk - කවිය සහ ගීතය කියන කලාප දෙකේ ම කරක් ගහපු මිනිහෙක් හැටියට, කවිය සහ ගීතය රවී සිරිවර්ධන නිර්වචනය කරගන්නෙ කොහොම ද ? 

රවී - කවිය සහ ගීතය කියන්නෙ පැහැදිලි අනන්‍යතා සහිත මාධ්‍ය දෙකක්. හැබැයි මේ දෙක ඇතුලෙම කවියෙක් ඉන්නව. නිදහස් කවියෙ සැරිසරන කවියට හිතුන ගමන් ගීතය ඇතුලෙ ලොකු දේවල් කරන්න බෑ වගේම ගීතය ඇතුළෙ ඉන්න කවියට නිදහස් කවියට හිතුන ගමන් ඇවිත් ලොකු දේවල් කරන්න බෑ. ඒ දෙකට අදාල අභ්‍යාසය වෙනස්. මාධ්‍යයික විසමතා අධ්‍යයනය කළ යුතුයි. කවිය කේවල කතෘක ආඥාදායකයෙක්. එයා තනි ආධිපත්‍යයක හැසිරෙන්නෙ. ගීතය බහු කතෘක කලාවක්. ගීත රචකයා එක පාර්ශව කරුවෙක් විතරයි. එයාට ලියන්න වෙන්නෙ සංගීතඥයෙකුගේ සංගීත පරිකල්පනයට ඉඩ හදමින්. විනාඩි තුනහමාරක සංගීත රචනාවකට අවශ්‍ය සීමාව තුළ පමණක් බස හැසිරවිය යුතුයි. ඔහුගේ පරිකල්පනය `සීමා රහිත ලෙස නිදහස්` නෑ. ඕනෑම ගැඹුරු යමක් ඉතා සංක්ෂිප්ත බසක් ඇතුලෙ මුදා හරින්න වෙනව. කවියාට එහෙම සීමාවක් නෑ. ඔහුට ඕන නම් දීර්ඝ ආඛ්‍යාන කාව්යක් ලිවිය හැකියි. ඔහුට සීමා පනවන්න කාටවත් බෑ. 

ඊළඟ කාරණය තමයි ගීතය ශ්‍රව්‍ය ගෝචර වැඩක්. ඒක කියවල රස විඳින එකක් නෙවෙයි. අසා රස විඳින මාධ්‍යයක්. එහෙත් නූතන නිදහස් කවිය දෘෂ්ටි ගෝචරයි. එහි ඉන්නෙ පාඨකයෙක්. කෑම උයන ගමන් ගීත ඇසිය හැකියි. එහෙත් කවි රස විඳිය නොහැකියි. කවිය විශේෂ අවධානයක් සහිතව දැඩි සන්සුන් ගැඹුරු කියවීමක් ඉල්ලා සිටින මාධ්‍යයක්. ගීත රචනයක බස ශ්‍රව්‍ය ගෝචර නොවුණොත් අදහස එකවර ග්‍රහණය වෙන්නෙ නෑ.  පාඨකයා කවිය මත ඇස් තබා කිහිපවර එය කියවනව. ඔහුට බසෙහි සඟවා ඇති ගැඹුරු ධ්වනිය සොයාගත හැකියි. ශ්‍රාවකයාට ඇසෙන මොහොතේම ගීතයේ රසය දැනිය යුතුයි. ඒ නිසා කවියෙන් ගීතයට පිවිසෙන රචකයා තුළ මෙම අවබෝධය සහ පුහුණුව තිබීම ඉතා වැදගත්. මේ නිසා තමයි කවි ලියන හැම කවියෙකුටම ගීතය තුළ සමාන සාර්ථකත්වයක් ලබන්න බැරි. මහගම සේකර, රත්නශ්‍රී විජේසිංහ වැනි නිර්මාණකරුවන් ඒ අභියෝගය ජයගත්තා.

2ldvtx2Q 400x400comrade.lk -  දැන් ඉතින් `ප්‍රදීපාගාරයක ඇස් බැල්ම` ගැන කියන්න. 
67243780 10217112642360059 9220685689429950464 nරවී - මේක මගේ තුන්වැනි කවි පොත. ගෙවුන දශක එකහමාරකට අධික කාලය පුරා මම සැරි සැරුවෙ ගීතය එක්ක. ඒත් කවිය මගේ ප්‍රථම ප්‍රේමය. ඒක හිත ඇතුළෙ හැංගිලා හිටියා. යළි එය සොයා යා යුතුය කියන අපේක්ෂාව දිගටම තිබුණා. ගීතය තුළ කරක් ගහපු මිනිහෙකුට යළි කවියට පිවිසීම හිතන තරම් ලේසි නෑ. මේ දෙකටම නැති `කුණුහරුප` ලියවෙන්න තියන ඉඩකඩ වැඩියි. ඉතින් දැඩි අභ්‍යාසවෘද්ධ විනයක් ඒකට ඕන. ඉවසීමක් ඕන. සමකාලීන කවිය දිහා බැලුවම වගකීමක් නැතුව යමක් එළියට දාන්න බෑ. අනික ගීතයෙන් හදාගත් නමෙන් කවිය ඇතුලෙ යැපෙන්නත් බෑ. කවියට හිමි බරින් පමණයි කවිය තුළ සැරි සරන්න වෙන්නෙ. මොන කයිවාරුව ගැහුවත් දැනුවත් සහෘදයා තමයි අපි ලියන්නෙ කවි ද කියල තීන්දු කරන්නෙ. ජූලි 30 වෙනිද මේ වැඩේ ඒ සහෘදයන්ට බාර කරල පැත්තකට වෙනව. ඉතින් එදාට චූලානන්ද සමරනායක, පියන්කාරගේ බන්දුල ජයවීර, රුවන් බන්දුජීව, විමල් කැටපෙආරච්චි, රුවන් මාපලගම යන දැනුවත් සහෘදයන් සාහිත්‍යවේදීන් මේකෙ අගස් බත ගැන යමක් කියන්න හිතන් ඉන්නව.

2ldvtx2Q 400x400comrade.lk -  ප්‍රදීපයන් දල්වනු වෙනුවට හාත්පස ගින්දරෙන් අවුලවන්න ලොල් සමාජ වටපිටාවක කවියකුට මොනව ද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ ? 

රවී - කවියට කරන්න තියන පළමු කාර්යය තමයි මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය කරන එක. මොකද මේ වචන වලින් වෙඩි තියන ගිනි තියන බෝම්බ ගහන කාලයක්. මැෂින් තුවක්කු වලට වඩා වචන විනශකාරී වෙලා. ඒ වචන අවුලන ගිනි නිවන්න වෙන්නෙ වචනවල පණ ගැහෙන ප්‍රේමය දන්න හඳුනන කවීන්ට තමයි. ඒ නිසා දැන් සමාජයට අවශ්‍ය තරු නෙවෙයි ප්‍රදීපාගාර. තරු වලට එළිය දෙන්නවත් මග කියන්නවත් බෑ. ප්‍රදීපාගාරයකට පමණයි මේ වියවුලෙන් ගොඩ බිම හොයා ගන්න මාර්ගය කියන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍යකාරයො ඒ වගකීම ගන්න ඕන. ඒත් මේ විපරීත මොහොතෙ අපි දැක්ක ප්‍රේමය කුරුටු ගෑ දෑත්ම වෛරයේ පුලිඟු අතැතිව හැසිරෙන හැටි. මනුස්සකම බදා වැළඳගත යුතු වෙලාවෙ වර්ගවාදයත් ආගම්වාදයත් දේශපාලන අවස්ථාවාදයත් නඩත්තු කරපු හැටි. ඒ නිසා අප හමුවේ ඇති අභියෝග සුළුපටු නෑ. ශක්තික සත්කුමාර වගේ ලේඛකයෙක් ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අප මේ කතාකරන මොහොතෙත් සිරබත් කනවා.  දුස්සීල භික්ෂූන්ගෙන් ලේඛකයන්ට ලියන්න අවසර ගන්න වෙලා. මේ සියල්ල මැද අපට මේ ගමන යන්න වෙලා තියෙන්නෙ. ඒත් අප යා යුතුයි. මනුෂ්‍යත්වයේ ප්‍රදීපාගාර වහ වහා ඉදිකළ යුතුයි.

| සංවාදය - රුවන්ත පීරිස් |