කොට තුවක්කු ; මේ මගේ කැරැල්ල ! - ප්‍රියන්ත ලියනගේ

කොට තුවක්කු ; මේ මගේ කැරැල්ල ! - ප්‍රියන්ත ලියනගේ

දේශපාලන හේතු මත හත්අවුරුද්දක් සිරගතව සිටි ප්‍රියන්ත ලියනගේ, බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ, ස්වකීය අදහස් නිදහස් කළේ පුවත්පත් සඟරා පිටු මතට ය. සිතිජය සඟරාව, ලංකා ඉරිදා සංග්‍රහය, ජනරළ පුවත්පත මෙන් ම කැරැල්ල සඟරාව ද ඔහුගේ පිය සටහන් රැඳුණු අකුරු නිම්නයන් වූයේ ය. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දේශපාලන කලාපයන් පසුකර ආ ප්‍රියන්ත ලියනගේ, අදත්, වඩාත් නවීකාරක දේශපාලන වැඩබිම් සොයා ඇවිදයමින් සිටියි. ඒ අතරවාරයේ ඔහු අප වෙතට 'කොට තුවක්කු' එල්ල කරයි. ජූලි පහළොස් වෙනිදා සවස 3.30ට මහවැලි කේන්ද්‍රයේදී 'කොට තුවක්කු ' පත්තු වීමට නියමිතය. සිය ප්‍රථම නවකතාව පාඨක දෝතට පිරිනමනු රිසිව කල්යල් බලමින් සිටින ප්‍රියන්ත ලියනගේ සමඟ comrade.lk කළ කතාබහේ කෙටි සටහනයි මේ.

 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ඔබට අනුව ඔබ කවුද?

ප්‍රියන්ත - සාමාන්‍ය මිනිහෙක්. මාධ්‍ය කම්කරුවෙක්.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - පොඩ්ඩක් ආපහු හැරිලා බලමුද?

ප්‍රියන්ත - මම සිතිජය සඟරාවේ වැඩට යන්නේ සෝදුපත් කියවන්නෙක් හැටියට. එතන ඉඳන් සිතිජයේ කරපු වැඩවල දිගුවක් හැටියට සහය සංස්කාරකවරයෙක් බවට පත්වුණා. පසුකාලයක ලංකා පත්තරේ කතෘ මාණ්ඩලිකයෙක් වුණා. ඊට පස්සේ ජනරළ පත්තරේට ආවා. කාලයක් සත්හඬ පත්තරේ වැඩ කළා. දැන් මේ වන විට අද පුවත්පතේ සෝදුපත්  කියවන්නෙක් හැටියට වැඩකරමින් ඉන්නවා.

priyanthaliyanageimage2

 

 

 

 

 

 

 

 

 

 

60583147 657001481379332 7032756824029790208 n

comrade.lk - ඔබේ තාත්තා නම ගිය ජේවීපීකාරයෙක් නේද?

ප්‍රියන්ත - අපේ තාත්තා 71 කැරැල්ලට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි කම්කරු නායකයා වෙලා, පක්ෂයේ කාගේත් ආදරය දිනාගත්ත නිසා තමයි 'එල්. දනෝරිස් හෙවත් දනෝරිස්  තාත්ත' කියලා අපේ තාත්තව හඳුන්වන්නේ. ඉතින් ගෙදර තිබුණා දේශපාලන පරිසරයක්. ජවිපෙ දිහාට ඇදිලා එන්න ඒකත් මට බලපෑවා.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - එකපැත්තකින් ගත්තම පත්තර කියන්නෙත් සමහරුන්ගේ ආකෘතික සහ මතවාදී හිරගෙවල්. ඒවාට ගොඩවදින්න කලින් ඔබ ගෙවූ සත් අවුරුදු සිරගත ජීවිතය ගැන යමක් කියන්න පුලුවන්ද?

ප්‍රියන්ත - 1987 සැප්තැම්බර් මාසේ 5වෙනිදා දේශපාලන හේතුවක් මත මාව අත්අඩංගුවට පත්වෙනවා. ඒ නඩුව දිග්ගැස්සිලා, දඬුවම් විඳලා 1994 දෙසැම්බර් 13 වෙනිදා නිදහස් වුණා. ඒ අත්දැකීම ගැන කණගාටුවක්වත් පසුතැවිමක්වත් නෑ. මොකද හිර ගේ කියන්නේ තක්සලාවක්. ඒ නිසාම ඒක තමයි ජිවිතේ වැදගත්ම අත්දැකීම.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - මොනවද මේ 'කොට තුවක්කු' ?

ප්‍රියන්ත - ඒ නමට බහු අර්ථ දෙන්න පුළුවන්. ඒ නමින් මා ලියූ නවකතාව තුලත් බහු අර්ථ තියේවි. ඒ නිසා ඒ අර්ථ මොනවාදැයි මම විස්තර කරනවාට වඩා පාඨකයා ඒවා සොයාගැනීමයි වැදගත්. මට මුණගැසුණු අර්ථයන් ඔබටත් මුණ ගැහෙනවනම්, කොට තුවක්කු අභියස අපි අපි මුණගැහේවි කියලා මට හිතෙනවා.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - ඔබ නවකතාවක් ලියන්නේ ඇයි?

ප්‍රියන්ත - දේශපාලනය කරනකොට, මං යන කෝච්චිය වැරදි පීල්ලේ යනවා කියලා මට දැනුනොත්, කෝච්චිය නිවැරදි පීල්ලට එන්නේ නැහැ කියලා මට වැටහුනොත්, අන්න ඒ වෙලාවට කොන්දේසි විරහිතව මම කෝච්චියෙන් බහිනවා. හැබැයි උග්‍ර දේශපාලන සත්වයෙක් නිසාමද මන්දා එහෙම කෝච්චියෙන් බැහැපු හැමවෙලාවෙම මහා හිස්තැනක් මට දැනුණා. දේශපාලනයෙන් තොර ජිවිතයක් මට තිබුනෙ නැහැ. පක්ෂ දේශපාලනයෙන් අයින් වුණාට තමාගේ ආත්මය දේශපාලනයෙන් වියෝ කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය මං ඉස්සරහට ආවා. එහෙම එනකොට, මම වැඩි වැඩියෙන් පොත් කියවන්න ගත්තා. දේශපාලනයේ හිස්තැන් සාහිත්‍යයෙන් පිරෙන්න පටන් ගත්තා. මම උමතුවෙන් වගේ පොත් කියෙව්වා. ක්‍රියාකාරී දේශපාලනයේ යෙදිච්ච කාලෙ වගේ හදිස්සියේ කලබලෙන් කියවනවා වෙනුවට සාවධානව හෙමින් කියවන්න මං පුරුදු වුණා. නවකතාවක හෝ කෙටි කතාවක කතන්දරයට අමතරව පේළි අතර අර්ථය තේරුම් ගත්තේ අන්න එතකොටයි. සාහිත්‍යය කියන්නේ ලෝකයේ කොහේ හෝ සිටින අපවැනි මිනිසුන්ගේ ජීවිතය. හැම මිනිහෙකුටම කතාවක් තියෙනවා. හැම කතාවකම මිනිස් ජිවිතයක් තියෙනවා. අන්න ඒ ජිවිත කියවන්න පුරුදු වෙනකොට, ජීවිතය ලේඛණ ගත කළ හැකිද කියා මම හොයාබලන්නට පටන් ගත්තා. පත්තරකාරයෙක් හැටියට බොහෝ දේ ලියා තිබුණත්, මට නවකතාවක් ලියන්න හේතු වුණේ, අන්න ඒ ජිවන නිරීක්ෂණය කියා මට හිතෙනවා.

මට මේ නවකතාව ලියන්න බලපාපු කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් ගැනත් මං මේ මොහොතේ මතක් කළ යුතුයි. එක්කෙනෙක් උපුල් ශාන්ත සන්නස්ගල, ඔහු වෙලාවක කියනවා, " ප්‍රියන්ත උඹ කියන දේවල්වලට වැඩිය ලියන දේවල් විධිමත්. ඒ නිසා උඹ දිගටම ලියපන් " කියලා. ඒ ප්‍රකාශය, ලේඛනයට ඇති මගේ බය නැති කළා. සන්නස්ගල කියන්නේ භාෂාවේ පෙරළිකාරයෙක්. ඔහු නොදන්නවා වුනාට නවකතාකරුවෙක් වෙන්න මට බලපෑ එක්කෙනෙක් ඔහු. තවත් පුද්ගලයෙක් තමයි දැන් මේ මාත් එක්ක කතාකරන ඔබ. ඔබත් මමත් එක පුවත්පතක වැඩ කරන කාලේ එහි සාහිත්‍ය අතිරේකයට නවකතාවක් අවශ්‍ය වුණා. ඒ සඳහා ඔබ නවකතාවක් සම්පාදනය කළා. ඒ ලියන අතරතුරේ ඔබ කිව්වා, " ප්‍රියන්ත අයියෙ, ඊලඟ නවකතාව ලියන්න ඕනෙ ඔයා " කියලා. කිසිදා පුවත්පතකට නවකතාවක් නොලිව්වත් ඒ ප්‍රකාශය මා තුල විශ්වාසයක් ඇති කළා. අනෙක් පුද්ගලයා තමයි මාහාචාර්ය ලියනගේ අමරකීර්ති. සාහිත්‍ය අතිරේක සංස්කාරකවරයෙකු ලෙස මම ඔහු සමඟ ගනුදෙනු කළා. ඔහුගේ ලේඛණ මගේ ලේඛණයට උත්තේජනයක් වුණා. ඒක එක්තරා ආකාරයක අධ්‍යාපන ශක්තියක්. මාහාචාර්ය අමරකිර්ති පරිවර්තනය කළ, මාරියෝ වර්ගාස් යෝසා ලියූ ' තරුණ නවකතා කරුවෙකු වෙත ' කෘතිය ' මගේ ලේඛණයට බලපෑවා.

එහි එකතැනක තිබෙනවා සැබෑ ලෝකයට එරෙහිව මිනිහෙක් ප්‍රබන්ධ ලෝකයේ ගහන කැරැල්ල තමයි නවකතාව කියන්නේ කියලා. ඉතින් ඒ අනුව, කොට
තුවක්කු කියන්නේ මගේ කැරැල්ල. ඒ කැරැල්ල ජයග්‍රාහීද පරාජිතද කියා මැන බලන්න, ජූලි පහළොස් වෙනිදා මහවැලි කේන්ද්‍රයට එන්න.

| සංවාදය - විමල් කැටිපෙආරච්චි | සේයා රූ - රවීන්ද්‍ර පුෂ්පකුමාර |