මිනිස්සු කැමති අඳුරට ! ඒත් අපි කවුළු හරිනවා !! - කපිල එම්. ගමගේ

මිනිස්සු කැමති අඳුරට ! ඒත් අපි කවුළු හරිනවා !! - කපිල එම්. ගමගේ

කපිල එම්. ගමගේ මෙරට සිටින ජේෂ්ඨ සන්නිවේදකයෙකි. එකී විෂයය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. විෂයානුබද්ධ කරුණු කාරණා මතු කිරීමෙන් නොනැවත, ඒවා සමග මහපොළොව මත පොරබදන්නෙකි. ඔහු, ජූලි 27 වැනිදා සවස, මහවැලි කේන්ද්‍රයේදී, ග්‍රන්ථායුධ දෙකක් ලෙළවන බවට කරුණු සැල ය. ඒ පිළිබඳව මෙන් ම තවත් දෑ ගැන, අපි ඔහු සමග කතා කළෙමු. මේ, එහි සංක්ෂිප්තයයි.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - මොකක්ද මේ ජූලි 27 වෙනවයි කියන්නේ ?

කපිල - එදාට අපි හමුවෙනවා. කවිය කෙටිකතාව ගැන පොඩ්ඩක් කතාබහ කරන්න. මේ තෙහෙට්ටු ජීවිතය අතරේ පොඩි සෞන්දර්යක් හරි ඉතිරි වෙලා තියෙනවද බලන්න. ඒ සඳහා පදනම වෙන්නේ ම විසින් රචනා කරණ ලද කෘති දෙකක්. එකක් මගේ සයවන කාව්‍ය සංග්‍රහය `මුහුදට මුහුණ ලෑ සොහොනකි.` අනෙක මගේ දෙවන කෙටිකතා සංග්‍රහය `අපරාදෙ, ඒ නොවැම්බර්`. මේ කෘති දෙක රසික අතපත් කරන අවස්ථාව තමයි ජූලි 27 දාට යොදා ගෙන තියෙන්නේ

66392097 2313050058803970 6040543933258268672 n

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - කවිය කෙටිකතාව නවකතාව සම්බන්ධයෙන් හැමදාම විවිධ වාද විවාද සංවාද විසංවාද තිබුණා. ඔබ මොකද හිතන්නේ, ශුද්ධ වූ කලාවක් හදන්න පුළුවන් ද ? කලාව කියන්නෙ බේරගන්න ඕන එකක් ද ?

කපිල - මගේ මූලික අදහස නම් ශුද්ධ වූ කලාවක් හදන්න බෑ කියන එක. කලාවට තියෙන්නේ පැවැත්මක්. නයිජීරියානු ලේඛක චීනුවා අචිබෙ කියනවා "කලාව යනු මිනිසාට ලබා දී ඇති දෙයට වඩා වෙනස් යථාර්ථයක් නිර්මාණය කිරීමට මිනිසා දරන නිරන්තර උත්සාහයයි." කියලා. අද වන විට මේ උත්සාහයේ ස්වරූපයන් හි ප්‍රකාශන විදිය තීරණය කරන්නේ ප්‍රාග්ධනය විසින්. ඒ විතරක් ද අද ලොව විශිෂ්ටතම කලා නිර්මාණයන්හි අයිතිකරුවන් වෙන්නේ කවුද? ලොව අංක එකේ ධනපතියන්. ඔවුන් කලාකෘති වේගයෙන් තමන්ගේ දේපලක් බවට පත්කරගනිමින් යනවා. ඒවා සාමාන්‍ය මිනිසුන්ගේ ආස්වාදනීය පරිහරණයෙන් දුරස්ථයි දැන්. සුභාවිත අවභාවිත කියලා කලාව වර්ගීකරණය කිරීම ම පසුගාමි කියලයි මම නම් හිතන්නේ.

කලාව විවිධ ස්වරූපයන් ගෙන් පැවතිය හැකියි. පැවතිය යුතුයි. සරල විනෝදය හා විශ්‍රාන්තිය කියලා පුද්ගල විනෝදාස්වාදයේ විධි දෙකක් තියෙනවා. සමාජ ප්‍රගමනයට මේ දෙකම පවතින්න ඕනේ. කලාවේ ස්වාධීන පැවැත්මට අධිපතීන් සිය කිළිටි අත් පොවන්නේ නැතිව ඉන්නවා නම් ඒක යහපත්. නමුත් එයින් පමණක් යහපත් කලාවක් හැදෙන්නේ නම් නෑ. මගේ අදහස නම් පවතින ක්‍රමය ඇතුලේ කලාව කලාකරුවාගෙනුත් බේරගන්න ඕනේ. ලෝකය පුරාම කලාව ඒකාකෘත ස්වරූපයකට පත්වෙමින් යනවා. ඒක සිදුවෙන්නේ සංස්කෘතිය ගෝලීය ආධිපත්‍යය යටතට පත්වී ඇති නිසා. සංස්කෘතිය අද වෙළඳ භාණ්ඩයක්. මේ නිසා ඒක ඇතුලේ සියලු කලාවන් නිෂ්පාදනය වෙන්නේ වෙළඳපොල ඉලක්ක කරගෙන. ඒ නිසා මේ මොහොත සියලු ශුද්ධ වූ දේ දූෂණය වෙන මොහොත. ඒකෙන් කලාවට ගැලවෙන්න පුලුවන් වේ යැයි සිතීම ම මුලාවක්.

 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - තව ම අප කියවා නැතත්, මුහුදට මුහුණ ලෑ සොහොනකි සහ අපරාදෙ ඒ නොවැම්බර් යැයි කියූ විට කිසියම් දේශපාලන සංඥාවක් දැනෙනව. ඒ පොත් කියැවීමෙන් පසු එහි දේශපාලනය ගැන කතාකරමු. ඊට පෙර, මේ මොහොතේ ලාංකේය දේශපාලනය, කපිල එම්.ගමගේ කියවාගන්නෙ කොහොම ද ?

කපිල - මේ මොහොත අප බලාපොරොත්තු විය යුතුව තිබුණ, එහෙත් එසේ නොවේ යැයි උපකල්පනය කළ දේශපාලනික මොහොතක්. අපි දන්නා දේශපාලන ඉතිහාසය ඇතුලේ අපි බහුතරයකට තියෙන හීනයක් තමයි වඩා යහපත් සමාජ පරිසරයක්, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්, වඩා පොහොසත් ආර්ථික වට පිටාවක් තුල පුරවැසියෙකු ලෙස ජීවත්විම. ඒක අපේ අයිතියක්. ඒ සඳහා ඉතිහාසයේ විවිධ අවස්ථාවල ගනු ලැබූ දේශපාලන තීන්දු රැසක් අපිට තියෙනවා. ඒවා එක් අතකර අත්හදා බැලීම්. ඒවායින් යම් පමණකට සාධනීය ප්‍රතිඵල සමාජයට අත්පත් වෙලා තියෙනවා.

මෑතකම ගනු ලැබූ දේශපාලන තීන්දුව ඒ මොහොතට සාපේක්ෂව බල සම්පන්න නිර්භය තීන්දුවක්. ඒ හා බැඳුණු නොයෙක් හීන ඒ වෙනස වෙනුවෙන් යම් මැදිහත්විමක් කළ හැමදෙනාටම තිබුණා. බොහෝ විට ඒවා පොදු සිහින. වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පැවති සිහින. අද වන විට ඒ සියල්ල ක්‍රමයෙන් බිඳ වැටෙමින් යනවා. එපමණක් නොවේ දේශපාලනය හා සමාජය ලොකු ආපසු ගමනක් යමින් තිබෙනවා. එය ඛේදනීයයි පමණක් නොවේ භයානකයි. රටේ දැන උගත් බහුතරයක් දේශපාලනිකව අකර්මණ්‍ය වෙමින් යනවා. ඔවුන්ට සිය දේශපාලනය අභ්‍යාස කරන්න කඳවුරක් අහිමිවීමේ ඛේදවාචකයක් මේ සිදුවන්නේ. මේ දේශපාලනිකව අතිශය අවුල් සහගත බවක්.

ඒ එක්කම තවත් හෙලිදරව්වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි සමහර ප්‍රගතිශීලී කොටස් වල ව්‍යාජ ස්වරූපය දෘශ්‍යමාන වෙන්න පටන් අරන්. එය වෙලාවකට පුදුම සහගතයි. මේ අය අතර සමාජ දේශපාලන සංවේදිතාවයකින් යුතු කවීන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන් මෙන්ම වෙනත් කලාවන්හි ප්‍රාමාණිකයන් සිටීම එක් අතකට පුදුමය දනවන දෙයක්. අනෙක් අතට එය මාර ඇත්තක්.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - නුදුරේ උදාවෙන සැප්තැම්බරය කියන්නේ පොත් පෙම්බරයන්ගේ මාසය. පොත් සල්පිල් පිරී ඉතිරී යන මාසය. එච්චර පොත් කියවන රටක් මෙච්චර ජාතිවාදී ආගම්වාදී වුණේ කොහොමද ? අපරාදෙ මේ සැප්තැම්බර් කියල හිතෙන්නෙ නැද්ද ?

කපිල - සාමාන්‍යයෙන් පොත් පිළිබඳ උනන්දුව බැලූ බැල්මට හොඳ දෙයක්. පොත් කියවීමට හුරුවීම කියන්නෙම ජීවිතය දෙස, සමාජය දෙස, ලෝකය දෙස බලන්න වෙනස් කවුළුවක් විවරකර ගැනීමක්. නමුත් ඔබ කියන ආකාරයට මෙතනදි අපි දකින්නේ පරස්පරයක්. ඒක හරියට ස්මාර්ට් ෆොන් පාවිච්චි කලාට ඔලුව ස්මාර්ට් වෙලා නෑ වගේ දෙයක්. මට වෙලාවකට හිතෙනවා මිනිස්සු පොත් පරිහරණය කරන්නේ ඕනමන්ට් එකක් හැටියට ද කියලා. මොකද සාලේ පොත් කබඩ් එකක් තිබීම පොඩි සමාජ වටිනාකමක් හැටියට රූපාන්තරණය වෙලා. පොත් සල්පිල් වල උතුරා යන්න සෙනඟ හිටියට පොත් වලටත් යම් අලෙවියක් තිබුණට අපි පොත් වලින් ගතයුත්ත අරගෙන නෑ කියලා තමයි හිතෙන්නේ. රසිකයා යාවත්කාලීන වෙලා නෑ කියලා කියන අතරේම අපිත් යම් යම් පොත් ලියනවා. එයින් පළක් තියේද කියන ගැටලුවත් අපි ඉදිරියේ තියෙනවා.

66490636 317453925805052 6734732157211639808 n

මට හිතෙන්නේ මෙහෙම දෙයක්. දීර්ඝ කාලීන සිවිල් යුද්ධයේ ජයග්‍රහණයෙන් පස්සේ අනෙකා යටපත් කළ හැකිය කියන අදහස සමාජය ඇතුලේ ස්ථාවර වුණා. ඒ විතරක් නෙමේ වරින් වර ඒ ජයග්‍රහණය සැමරීම වගේ ක්‍රියාකාරකම් නිසා දකුණේ ජන මනස නිර්මාණය වුනේ සිංහල - බෞද්ධ ස්වොත්තමවාදීව. ඒ නිසා අනෙකා කෙරෙහි බලන බැල්ම වෙනස් වුණා. සහජීවනය, සංහිඳියාව, එකමුතුකම වැනි සංකල්ප විහිළු බවට පත්වුණා. සහකම්පනය පලක් නැති දෙයක් ලෙස සැලකුවා. මේ නිසා ජාතීන් අතර ඇතිවන නොසන්සුන්තාවක් පහරදී මරාදැමීමෙන් කෙළවර කළයුතුයි කියන අදහස තව තවත් උත්කර්ෂයට නැගුණා. මේකට ප්‍රතිපක්ෂ ලෙස සාහිත්‍ය කලාවන්ගෙන් කෙරෙන සාකච්ඡා බෙලහීන වෙන්නේ මෙන්න මේ පරිසරය තුල. එහෙම බලද්දි අපි ලෝකයට විවෘත වෙන කවුළු කොතරම් විවෘත කළත්, එයින් එන ආලෝකයට ප්‍රිය කරනවාට වඩා මිනිස්සු කැමති තව තවත් අඳුරටම බවයි හිතෙන්නේ. මිනිස්සු කැමති අඳුරට වුණත්, අපි කවුළු හරින එක නවත්වන්නෙ නෑ.

| සංවාදය - විමල් කැටිපෙආරච්චි | සේයාරුව - බන්ධුල සේනානායක |