විලාසිතා දේශපාලනිකයි

විලාසිතා දේශපාලනිකයි

සංස්කෘති කිහිපයක ආභාසය ලබා ඇති ආලියා අලී,  යේමනයේ සානා, සර්ජේවෝ, ඉස්තාන්බුල්, වේල්ස් , හෝචී මිං සහ මරක්කා ඇතුළු ලෝකයේ  බොහෝ ප්‍රදේශවල ජීවත් වූ මෙන් ම සංචාරයද කළ කෙනෙක්.  'ෆැබ්‍රික් ආට්ස්' සහ 'ෆොටෝග්‍රැෆි' ඇගේ ප්‍රධාන මාධ්‍ය වනවා. ආලියා අලීගේ කෘති , විවිධ මානව සංස්කෘති ගවේෂණය කරන අතර වර්තාමන සම්ප්‍රදායයන්හි භූමිකා ගැන නැවත සිතා බැලීමට අපව පොළඹවනවා. feeldesain.com වෙබ් අඩවියෙහි පළ වුණු ඇගේ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයක් මේ.

විවිධ සංස්කෘතියක ශිෂ්ටාචාරයන්ගෙන්  ඉතා වටිනා  අත්දැකීම් ලැබීමේ ධනාත්මක පැති සහ දුෂ්කරතා  මොනවද?

ලෝකයේ විවිධ පැතිවල සිටිමින් හැදී වැඩෙන්න, වෙනස් පුද්ගලයන්, ආහාර, ඇඳුම් ආයිත්තම්, වටපිටාවන් වෙත නිරාවරණය වෙන්න ලැබීම පුදුමසහගත අත්දැකීමක්. විවිධ ස්ථාන නැරඹීමට යාම මට ඉගැන්වූ දෙය තමයි, " මගියකු මිස සංචාරකයකු නොවන්න" කියන කාරණය. මගේ මවට  මම ඒ ගැන ස්තූතිවන්ත විය යුතුයි.

අරාබි බසින් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට යේමනයේ හැදී වැඩෙන්නට කියලා මටයි මල්ලිටයි අම්මා තරයේ කියා හිටියා. අපේ උරුමයට හා සංස්කෘතියට ප්‍රවේශ විය හැක්කේ එවිටයි.  සමහර වෙලාවට මාසයකට සැරයක් වගේ ඇය අපව පාසල් අධ්‍යාපනයෙන් බැහැරට  ගෙනයනවා විවිධ ස්ථාන නැරඹීමට. පාකිස්ථානය, හොංකොං, ඉන්දියාව, තායිලන්තය සහ කෙන්යාව වගේ රටවලට.

දැන් මම වයසින් මුහුකුරා ගිහින්. අප ලෝකය දෙසට යාත්‍රා කරන්නෙ කොහොමද සහ අප අපව කියවා ගන්නේ කොහොමද කියන දෙයට මූලික පදනම ගොඩනැඟීමට ඒ සැරිසැරීම් කොතරම් වැදගත්ද කියල මම හිතනවා. මිනිස්සු අතර විතරක් නෙවේ වටපිටාව එක්ක ඇති අන්තර් සම්බන්ධය ගැනත් එය මට ඉගැන්වූවා.

කිසිම ස්ථානයක් පිළිබඳ අපේක්ෂාවන් දල්වා ගැනීමෙන් මාව වළක්වා ගැනීමට ඒ අද්දැකීම් මාව දිරිමත් කළා. මම ඉගෙනගත්තා, දේශනා කිරීම් හෝ නතු කර ගැනීමෙන් තොරව සවන්දීමෙන්, නිරීක්ෂණයෙන් සහ මැදිහත් වීමෙන් පමණක් සංස්කෘතීන් කියවා ගන්නා ආකාරය.

ඒ වගේම මට ඉගැන්වූවා, චිත්‍ර ශිල්පියෙක් විදියට ඩිජිටල් හා වාණිජමය වශයෙන් අප පරිභෝජනය කරන රූපවලට වඩා අප අත්විඳින සංකල්පරූප තුළින් අපේ පරිකල්පනය පෝෂණය කර ගැනීමට භෞතික වටපිටාව භාවිත කිරීමේ වැදගත්කම.

'' කලාව කියන්නෙ මට නිදහස් අවකාශයක ගවේෂණය කිරීමට, මාව නිරාවරණය කිරීමට හා මුදාහැරීමට  ඉඩ දුන්න අවම සීමාවක් හා  විරෝධයක් තිබූ දෙයක්.''

 

ලිඛිත හා කථික භාෂාවන්, සන්නිවේදනය සඳහා  මූලික නොවන බවත් අදහස් කියාපෑම හා තේරුම් ගැනීම සඳහා වචනවල නියෝජනය සීමාසහිත බවත් ඔබේ කෘතිවලට පදනම් වූ අදහස වනවා. ඒ ගමන් මගේ ඉතිහාසය කියන්න.

මගේ දෙමාපියන් සංක්‍රමණික වාග්විද්‍යාඥයන් විදියට ඔවුන්ගේ ජීවිත කාලය තුළ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වූ අය. භාෂා හතක් අතරින් ඔවුන් නිතර හුවමාරු කරගත් භාෂාව වුණේ ඉංග්‍රීසි. ඒ නිසා මම දුටුවා, පරිවර්තනය උපකරණයක් ලෙස භාවිත වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම ආයුධයක් විදියටත්. මිනිසෙකු පැවසීමට උත්සහා කරන දෙයට සහාය දැක්වීමට පමණක් පරිවර්තනයක් උදව් වෙන්නෙ නෑ. පරිවර්තක සතුවන න්‍යාය පත්‍රය සඳහාත් සහාය දක්වනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා ඛේදජනක සිද්ධියක් වුණු 9/11  කාලයේ මම ඒ ගැන හොඳින් විමසිලිමත් වුණා. අරාබි භාෂාවේ බිඳවැටීම හා අවභාවිතය ආරම්භ වෙන්නෙ මේ විදියට. උදාහරණයක් විදියට, 'තලෙයිබාන්' හි භාවිත කරන 'තලෙයිබ්' යන වචනය අපි භාවිත කරන්නෙ " ශිෂ්‍යා" කියන අරුතින්. නමුත් දැන් එය  ත්‍රස්තවාදියෙක් හඳුන්වන වචනයක් වෙලා. ඔබ 'මද්‍රාස්' කියල ගූගල් කළොත් ඔබට දකින්න පුළුවන් වෙන්නෙ ත්‍රස්තවාදීන් පුහුණුකරන කඳවුරුවල ඡායාරූප . ඇත්ත වශයෙන් ම එහි තේරුම ' පාසල්' කියන එක.  යුරෝපා හා ඇමරිකාව පුරා පවතින දේශපාලනික න්‍යාය පත්‍ර හා සැකසුම්වල පදනම් වෙලා ඒ වචන වැරදි ලෙස අර්ථකථනය කරනවා.  පෙරදීම මම තේරුම් ගත්තා මට මගේම භාෂාව පවා භාවිත කරන්න බැරිනම් වෙනම ප්‍රකාශනයක් වෙත යොමු වෙන්න ඕනෙ කියල. ඒක තමයි දෘශ්‍ය භාෂාව.

උපාධි අපේක්ෂකයෙක්ව ඉන්න කාලෙ නීතිය හා දේශපාලනය ඉගෙනීම ගැන මම උනන්දු වුණා. ඉතා ඉක්මනින් මම ඉගෙන ගත්තා, වචන මෙහෙයවීමේ කලාව නීතිය බව. ඒ කාලෙ දෘශ්‍ය කලාව ගැනත් මම උනන්දු වුණා. දෘශ්‍ය කලාව සමඟ නරඹන්නාටත් නියෝජනයක් තියෙනවා වගේම  කලාකරුවා සන්නිවේදනය කරන්නේ කුමක්දැයි තේරුම් ගන්නට ඉඩ තිබෙනවා. කලාව, සමීප හා ගැඹුරු සංවාද  ඇති වීමට රුකුළක් වෙනවා.

වෘත්තියෙන් කලාකරුවෙක් වෙන්න මම තීරණය කරන්නෙ 2014 දි.  මගේ ජීවිතයේ මඟ පෙන්වීම වෙන්නෙ සතුට. එය එක්තරා අකාරයකට බයට මුහුණ දීමක්. භීතිය කියන්නෙ දෙයක් කිරීමට යාමෙන් අපව වැළැක්වීම. ඒ බියට මුහුණ දෙන්න මාව තල්ලු කළ එකම දෙය කලාව. මගේ ජීවිතය හා අනන්‍යතාව තේරුම් ගන්න අවැසි බොහෝ දේ මට තිබුණා. නමුත් මගේ මිශ්‍ර අනන්‍යතාව පිටත ලෝකය තුළ පිළිබිඹු වෙනවා මම දැක්කෙ නෑ. ඒ නිසා මා විසින් ම එය නිර්මාණය කරගන්න මට සිද්ධ වුණා.

කලාව කියන්නෙ මට නිදහස් අවකාශයක ගවේෂණය කිරීමට, මාව නිරාවරණය කිරීමට හා මුදාහැරීමට  ඉඩ දුන්න අවම සීමාවක් හා  විරෝධයක් තිබූ දෙයක්.


'' 'Text' කියන වචනයම එන්නෙ ' textile ' තුළින්. නැතුව වෙන විදියක් නැහැ. දෘශ්‍ය සන්නිවේදන ඉතිහාසය බැලුවම බිත්තිවල, පර්වත මත වගේ  රැගෙන යා නොහැකි ද්‍රව්‍යමතයි ලිවීම භාවිත වුණේ. ''

 

ඔබේ නිර්මාණ සමුච්චයේ ප්‍රධාන සන්නිවේදනාත්මක  භාෂාව වෙන්නෙ රෙදිපිළි ( textile) . එය ඔබේ කෘතියේ කර්තෘත්වය නියෝජනය කරනවා. ඒ වගේම එහි සැඟවුණු පුද්ගල ආලේඛනයක් ද විදහා දැක්වෙනවා. මේ සුවිශේෂි මාධ්‍ය භාවිත කිරීමේ යම් න්‍යායක් ඔබට තිබෙනවද? මේ textiles භාවිතය ඔබ කරන්නෙ කොහොමද සහ ඇයි කියල පැහැදිලි කරන්න පුළුවන් ද?


රෙදිපිළි කියන්නෙ මට ඇත්තටම වැදගත් දෙයක්. ඇත්ත වශයෙන්ම  හැමෝටම එහෙමයි. 'Text' කියන වචනයම එන්නෙ ' textile ' තුළින්. නැතුව වෙන විදියක් නැහැ. දෘශ්‍ය සන්නිවේදන ඉතිහාසය බැලුවම බිත්තිවල, පර්වත මත වගේ  රැගෙන යා නොහැකි ද්‍රව්‍යමතයි ලිවීම භාවිත වුණේ. පසුකාලීනව  මිනිසා රෙදිපිළි , පැපිරස් පත්‍ර වගේ රැගෙන යා හැකි  ද්‍රව්‍ය භාවිතයට ගත්තා.

රෙදිපිළි මෝස්තර ගැන හිතද්දි, මට හිතෙන්නෙ අරාබි සහ හීබෲ භාෂාවලින් ලිවීමටවත් කියවීමටවත් නොදත් නමුත් මෝස්තර ගැන මනා සාක්ෂරතාවකින් පිරුණු මගේ අත්තම්මා ගැන. ඇයට කියවීමට ලිවීමට නොහැකි වුණත් තවමත් ඇය අපේ උරුමයන් රෙදි හරහා ලේඛනගත කරල තියෙනවා .  මට නම් මේවා, ඇත්තටම යේමන් ජාතිකයන් වුණු අප, අපේ නියමයන්ට අනුව අපව දකින ආකාරය පිළිබඳ ලියවිල්ලක්. අපේ ඉතිහාසය ලියවුණු විදිය බැලුවොත් , බොහෝ කතා ලියල තියෙන්නෙ යටත්විජිතවාදීන් විසින්. ඒ ලිවීම්වල තියෙන්නෙ අපේ නොවන භාෂාවක් සහ අප සමග නොසිටි මිනිසුන් ගැන. පරිවර්තකගේ න්‍යාය පත්‍රය අනුව පණිවිඩය වෙනස් වන ආකාරය ගැන මං මුලදි කියූ දෙය  මෙතනත් කියැවෙනවා.

මිනිසුන් මගේ ඡායාරූපවල මාතෘකා සොයන්නෙ ඔවුන්ට වැඩි අදහසක් ලබා ගැනීමට වගේම රෙදි යටින් සිටිනේ කවුරුන්දැයි තේරුම් ගැනීමට. තමගේ කියවීම සන්දර්භගත කිරීමට ඔවුන් එය කරනවා. මා සියල්ල රඳවා තබා ඇත්තේ ඒ තුළයි.
මා සිතන්නේ, නරඹන්නන් සහ ඡායාරූප ශිල්පියාත්, රෙදිපිළිත් අතර වන බල හුවමාරුව නිසා, නිර්මාණවල මුහුණු සඟවා තිබීම නරඹන්නාට වඩාත් සමීප වීමට හේතුවක් වන බවයි.

 

''විලාසිතා දේශපාලනිකයි. විලාසිතා තුළින් අපට පුළුවන් ඓතිහාසික අංග, සෞන්දර්යාත්මක ප්‍රවණතා හා ආර්ථිකය යන අංශ ගෙනහැර දක්වන්න.'' 


ඉතා ළගන්නාසුලු ප්‍රතිවිරෝධතාවක් නිරතුරුවම ඔබේ නිර්මාණවල මිශ්‍ර වෙලා තිබෙනවා. සියල්ලටම  කලින්, ඔබ ගනු දෙනු කරන්නෙ යම් දේශපාලනික ඵලයන් සෞන්දර්යයත්මක ප්‍රවේශයක් ලෙස අරගෙනයි.
ඔබේ දෘශ්‍ය රචනාව;   බැහැර කිරීම, බිය හා තේරුම් නොගැනීම පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ගෙන එනවා.  සාමාන්‍යයෙන් රෙදි වර්ග කියන්නෙ  විලාසිතාවල වස්තුවක්. එය ඔබේ තේමාවන්ට වඩා නිෂ්ඵල වපසරියක්. ඇඳුම් පැළඳුම් සහ මිනිසා අතර සම්බන්ධයක් තිබෙනවද?

විලාසිතා දේශපාලනිකයි. විලාසිතා තුළින් අපට පුළුවන් ඓතිහාසික අංග, සෞන්දර්යාත්මක ප්‍රවණතා හා ආර්ථිකය යන අංශ ගෙනහැර දක්වන්න. රෙදිපිළි කියන්නෙ  පොදු දෙයක්. අපි ඉපදෙන්නෙත් මියයන්නෙත් ඒ මත. නිදාගන්නෙත් අවදිවන්නෙත් ඒ මතින්. අපි, අපිව ආරක්ෂා කරගන්නෙ එයින්. අපේ සියල්ල අපි පිළිබිඹු කරන්නේ ඒ හරහා.  සමහර වෙලාවට පන්ති වෙනසිතා , ඔබ පැමිණෙන්නේ කොහේ ඉඳන්ද?  ඔබ ඔබව හඳුන්වා දෙන්න කැමති කොහොමද ?  කියන සියල්ල අපි භාවිත කරන ෆැබ්‍රික් එකකින් නිර්වචනය වෙනවා. එයට බොහෝ විභවයන් තියෙනවා . අපව එකට බදා තැබීමටත් බෙදා දැමීමටත් එයට හැකියාව තිබෙනවා.

අද ලෝකයට මොනවද අවශ්‍ය ?

මගේ මතයට අනුව කෑදරකම තමා නරකම ගැටලුව. අපට අවශ්‍ය වන්නේ, මුදල් කෙරෙහි අඩු අවධානයත් ආදරය කෙරෙහි වැඩි අවධානයත් ලබා දීම.

මේ කොවීඩ් තත්ත්වය තුළ පවා, එක්සත්ව සිටීමට සහ වඩා දියුණුවට පත් වීමට  මනුෂත්වයට තියෙන ශක්තිමත්ම උපකරණය කලාව කියල ඔබ හිතනවද?

ඔව් මම සිතනවා. සඳලුතලවල ගැයෙන ගීතිකා, විවිධ වට්ටෝරු හුවමාරු වීම්, ආදරය ප්‍රකාශ කිරීම්  දකින කාලයක් මේ ව්‍යාකූල කොවීඩ් තත්ත්වය තුළ ඇතිවෙලා.  මිනිස්සු , බෙදා හදා ගැනීම්, අනෙකා ගැන සොයා බැලීම් කරන්න නිර්මාණාත්මක මාර්ග යොදාගෙන තියෙනවා . කලාව එහෙමයි. සුවපත් කිරීමේ බලය කලාවට තිබෙන බව බලාගන්න හොඳම වෙලාව මේක.



නිර්මාණශීලිත්වය ගැන අදහස මොකක්ද?

ඒක තමා හුස්ම

තමන්ගෙ සිතුවිලි මුදාලන්න මාර්ග සොයන, නමුත් හමුවෙලා නැති අයට ඔබ කරන යෝජනාව මොකද්ද ?

අත්හදා බලන්න. අවදානම් ගන්න. වැරදි කරන්න.  අත් හදාබැලීම්වලදි අපි කරන වැරදිවලින් තමා වැඩිපුරම ඉගෙන ගන්නෙ. අපට, අප හමුවෙන්නෙ එතැනදි. මට නම්, මගේ පුහුණුව වුණේ අවදානම් ගැනීම සහ බියට මුහුණ දීම. මං තේරුම් ගත්තා මම බයවෙන්නෙ මිනිස්සු මට දක්වන ප්‍රතිචාරවලට කියලා. ඒක තමයි, තමන් තමන්ටම දාගන්න විශාලතම සීමාව. ඒ බයට පුළුවන් අපිව අඩපණ කරන්න. අපි කරන්න ඕනෙ අවසාන ප්‍රතිඵලයක් සඳහා යමක් නිෂ්පාදනය කිරීම  නෙවේ. බිය තුරන් කර ගැනීමෙන් ඔබ කරන ක්‍රියාවලිය තුළින්ම අවට අවකාශය කැටයම්වන අපූරුව ඔබටම සොයාගත හැකි වනවා.

| පරිවර්තනය - සසංකා විතානගේ |