කවිය මට මිත්‍රයෙක් - වින්‍යා මැණිකේ ජයසේකර

කවිය මට මිත්‍රයෙක් - වින්‍යා මැණිකේ ජයසේකර
 
'සරුංගල් ප්‍රේමිය' වින්‍යා මැණිකේ ජයසේකරගේ දෙවැනි කාව්‍ය සංග්‍රහයයි. එය 2020 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගාවලියේ, කාව්‍ය අංශයේ අවසන් වටයට ද තේරී පත් විය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඇය සමඟ කළ සංවාදයකි.
 
 'සරුංගල් ප්‍රේමිය' සහෘද ගත වෙලා තියෙන මේ මොහොතෙ ඔබට දැනෙන හැඟීම මොකක්ද?
 
රටක් විදියට අසීරුම අවදියක විවිධ බාධා බිඳ වැටීම් මැද පොතක් මුද්‍රණයෙන් පාථකයා අතට පත් වීම ඇත්තටම සතුටක්. සැලසුම් සහගත සිදුවීම්වලට වඩා බොහෝ අහඹු සිදුවීම් අපේ ජීවිත වලට අලුත් වර්ණ ගේනවා. 'සරුංගල් ප්‍රේමිය'ත්  මගේ ජීවිතයට අලුත් වර්ණයක් එක් කළ සොඳුරු අහම්බයක්. ඇය අතේ පා කරලා එවන කවි අතරෙ පාට පාට කවි තිබෙනවා. ඔබ කැමති වර්ණය අනුව තෝරාගත් කවියකින් ඔබට ඔබ හමු විය හැකි පරිදි මම ඇයව මුදා හැරලා නිදහසේ ඉන්නවා.
 

පොත ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටයට තේරී පත් වීම ඔබ තුළ ඇති කළේ කොහොම උත්තේජනයක්ද?

 අහම්බෙන් ලියවෙච්ච කවි එකතුවක් මම මූලික වෙලා පොතක් විදියට එළි දක්වන්න තරම් මගේ කවිය ගැන මට තක්සේරුවක් තිබුණෙ නෑ. ඒ තරමට එය පරිණතද කියන සැකය නිසා 2019 අත්පිටපත් තරගයට නිකමට වගේ යවපු අත්පිටපත අවසාන වටයට තේරිලා 'රෝස නිල් පාට හීන' මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ජනගත වෙනවා. අත්පිටපත් 126කින් අවසාන දස දෙනා අතරට තේරීම නිසා මගේ කවිය ගැන මා තබන තක්සේරුවට එහා ගිය වටිනකමක් මට ලැබුණා. ඒ උත්තේජනය අනෙක් හැම තරගකරුවෙක් වගේම 2020 වන ඊලඟ වසරෙත් තරගයට ඉදිරිපත් වීමට මට බල කළා. එක ළඟ දෙවසරකම එකම තරග අංශයෙන් අවසන් වටය නියෝජනය කරලා අත්පිටපත මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට තරම් මගේ හිතේ ඉපදිච්ච හැඟීම්වලට වාසනාව තිබුණා. ඒක මගේ ජීවිතයට විශේෂ සිදුවීමක්.
කවිය ඔබට දැනෙන්නෙ කොහොමද?
 
අච්චුවකට, රාමුවකට කොටු වෙච්ච අපේ ‍යාන්ත්‍රික ජීවිත ඇතුළෙ මිලක් නියම කරන්න බැරි එක දෙයක් තමයි මානසික නිදහස. ජීවිතේ වගකීම්, වගවීම්වලින් අත්විඳින, අත්දකින, හිතට තදින් කාවදින දෙයක වෙහෙස, කවියක් ඇතුළෙ හිර  කරලා පොඩි විවේකයක් ලබන්න මම උත්සාහ ගන්නවා. ඉතින් කවිය ගැන මොන නිර්වචන තිබුණත් මම කවිය වැළඳ ගන්නෙ අන්න ඒ මානසික නිදහස ඇතුළෙ අවංකව හැඟීම් හුවමාරුවක යෙදෙන අජීවී මිත්‍රයෙක් හැටියට.
 

මුලින්ම කවිය එක්ක ගනුදෙනුව ඇතිවුණු හැටි සහ ඒ ගමන මෙතෙක් පැමිණි දුර ගැන යමක් දැනගන්න කැමතියි?

 මට ඉන්නෙ බොහොම ආදරණීය පුංචි පවුලක්. ආදරේට පුංචි කියලා කිව්වට වගකීම් දෙගුණ තෙගුණ කරලා ලොකු දුවට පස්සෙ අපි දෙන්නට ලැබෙන්නෙ නිවුන් දුවෙකුයි පුතෙකුයි. මගේ ජීවන ගමන් සගයා වින්දනගේ වගකීම් බහුල රාජකාරී අතරට මේ දෙන්නගේ ආගමනය ලොකු බරක් පටවනවා. දැන් ලොකු දුවට අවුරුදු දහයක්, පොඩ්ඩොන්ට අවුරුදු පහක්. අද හැරිලා බලනකොට ඒ කාලය කොහොම ගෙවා ගත්තද කියලා හිතා ගන්න බැරි තරමට ජීවිතය අපිට අභියෝග භාර දෙනවා. ඔය අතර පැටව් තුන් දෙනාගෙ ලෝකයේ විශේෂ සිදුවීම් දින පොතක ලියන්න මම පුරුදුවෙලා හිටියා. කවදාවත් කවි ලියන්න හිතක් නොතිබිච්ච මගේ අතින් එයාලා ඔසවන පියවරෙන් පියවර කවිවලට පෙරළෙනවා. 2018 එයාලා ගැන ලියවෙච්ච මුල්ම කවියෙන් එයාලා එයාලගෙ අම්මගේ කවීත්වය එළියට ගන්නවා.
 

සයිබර් අවකාශය ඔබට ලියන්න මොන වගේ වේදිකාවක් වුණාද?

මම ලියපු මුල්ම කවිය පවා මම නිදහස් කළේ සයිබර් අවකාශයට. පුවත්පත් කවි පිටුවලට පවා මග විවර වුණේ ඒ හරහා ගොඩ නැගුණු අඩිතාලමෙන්. මෙතෙක් ආ කෙටි කවි මග කාව්‍ය අභ්‍යාසවලට වේදිකාව වුණේ මුහුණු පොත. මවිසින්ම තනා ගත් සීමා ඇතුළත ඉන්න සීමිත මිතුරු  පිරිසක් අතරේ මගේ නිර්මාණ හා ඔවුන්ගේ නිර්මාණ හුවමාරු වෙනවා. ඒ අතර ජ්‍යෙෂ්ඨයන්, ප්‍රවීණයන්ගේ නිර්මාණ හා අදහස් මග පෙන්වීම් කර ගන්නවා. හැම දේකම වගේ හොඳ සහ නරක යන දෙකෙන් නරක ප්‍රවේසමෙන් පැත්තකින් තියලා හොඳ ඇසුරකින් සයිබර් අවකාශය නවක නිර්මාණකරුවෙක්ට පුළුල් අවකාශයක් සපයනවා.
 

ඔබට උත්තේජනයක් සහ ආභාසයක් සැපයූ නිර්මාණ සහ නිර්මණකරුවන් කවුද?

 දෙමාපියන්ගෙන් හොඳ විශ්ව සාහිත්‍ය ඇසුරක් මට ලැබුණා. අද තාත්තා අපි අතර නැතත් අසූ ගණන්වල තාත්තා ගෙදර ගෙනා පොත පත මගේ සාහිත්‍ය රසය ඇති කරන්න හේතු වුණා. අදටත් ලිවීමට වඩා මට කියවීම ප්‍රියයි. ඔය අතරෙ 2018 අහම්බෙන් ලියවෙච්ච කවියක් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 65වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ 'සුදු නෙලුම' නිර්මාණ තරගයෙන් කුසලතා ලබනවා. ඒ කවියකින් මට ලැබුණු ප්‍රථම ජයග්‍රහණය. එදා ඒ උත්කර්ෂවත් උත්සවයෙන් ලබපු අත්දැකීම් මට මේ දුර එන්න පාර පෙන්වනවා.එදා මෙදා තුර ලංකාවෙ බිහි වෙච්ච සාහිත්‍යධරයන්ගේ නිර්මාණ හොය හොයා මම කියවනවා, විඳිනවා.
 

නිර්මාණකාරියක් ලෙස ඔබ අපේ රටත්, එහි සාහිත්‍ය - කලා කලාපයත් දකින්නෙ කොහොමද?

 හෙට ඉර නැගෙද්දි මොන ආශ්චර්‍යය සිද්ධ වෙලා තියේවිද කියන විශ්මයෙන් රෑට නින්දට යන සුන්දර රටක, අසුන්දර අත්දැකීම් විඳිමින් ඉන්න පුරවැසියන්ට සාහිත්‍යයෙන් හෝ කලාවෙන් ලොකු බලපැමක් කරන්න පුලුවන් වෙලා නෑ කියන මතයේ මම ඉන්නෙ. සාහිත්‍යයෙන් කලාවෙන් සංවේදී මිනිසුන් බිහි කරන්න පුලුවන් කියන විශ්වාසය ඇතිව එතෙක් මෙතෙක් වෙහෙසෙන නිර්මාණකරුවන් මේ රටේ ඉන්නවා. ඒත් ලැබෙන රාජ්‍ය අනුග්‍රහයේ මඳකම හෝ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලකමකින් පාඨකයා තුළ ගැඹුරු රුචිකත්වයක් ඇති කරන්න අසමත් වෙලා තියෙනවා.
 

මේ වෙද්දි පොතට ලැබෙන ප්‍රතිචාර සහ ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන යමක් කියලම අපි මේ සංවාදය අවසන් කරමු?

 සරුංගල් ප්‍රේමිය ජනගත වෙලා තවම මාසයයි. රටේ පවතින අවාසනාවන්ත තත්ත්වයත් එක්ක තවම පාඨකයන් අතරට නිදහසේ ඉගිල්ලෙන්න ඇයට හැකියාව ලැබිලා නෑ. ඒ නිසා ඉවසීමෙන් බලා ඉන්නවා. ඒ වගේම මේ ආපු කෙටි කවි මග වසර දෙකක් තුළ ගොඩගේ නිවසින් ග්‍රන්ථ දෙකක් ජන ගත වීමෙන් මම වගේ පුංචි මනුස්සයෙක්ට ලැබුණු වටිනාකම ඉහටත් උඩින්. ඒ අහම්බයන් එක්ක කවිය කියන අව්‍යාජ මිත්‍ර ඇසුර අධ්‍යනය කරමින් හැකි තාක් දුරක් ‍‍යන්න පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
 
| සංවාදය - කසුන් සමරතුංග |