එකදිගට පැරසිටමෝල් බොන්නෙ බලාගෙනයි !

එකදිගට පැරසිටමෝල් බොන්නෙ බලාගෙනයි !

ඔලුවෙ අමාරු, බඩේ අමාරු, දතේ අමාරු, කොන්දෙ අමාරු, ඇඟේ අමාරු වගේ එකී මෙකී නොකී හුඟක් අමාරු වලට අපි පැරසිටමෝල් ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ අතරෙ සමහර ලෙඩ වලට වෛද්‍යවරුත් පැරසිටමෝල් නිර්දේශ කරනවා. නමුත් දිගු කාලයක් එක දිගට පැරසිටමෝල් ගන්න එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි කියල නවතම අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම අධි රුධිර පීඩනය තියෙන අයට ඒ අවදානම පැරසිටමෝල් නිසා ඉහළ නංවන්න පුළුවන් කියලයි මේ අධ්‍යනයෙන් කියන්නෙ. එහෙම අයට අධිරුධිර පීඩනය ඉහළ නංවන්නත් හදවත් ආබාධ ඇති කරන්නත් මේ වේදනානාශක හේතුවක් වෙන්න පුළුවන් කියල වැඩි දුරටත් කියවෙනවා. නමුත් මේකෙන් අදහස් කරන්නෙ වේදනා නාශකයක් විදියට පැරසිටමෝල් ගන්න එපා කියන එක නෙවෙයි. පුරුද්දක් විදියට දිගු කාලයක් ගන්න එක අහිතකර වෙන්න පුළුවන් කියලයි කියන්නේ.


Edinburgh සරසවි පර්ශේෂණ කණ්ඩායමක් කරපු මේ අධ්‍යනයට 110 ක පිරිසක් සහභාගී කරගෙන තියෙනවා. ඒ අයගෙන් කොටසක් අධි රුධිර පීඩනයට බෙහෙත් ගන්න අය. අනිත් කොටස සාමාන්‍ය අය. දෙගොල්ලන්ටම එකම මාත්‍රාවකින් සති දෙකක් දවසට හතර වතාවක් පැරසිටමෝල් ලබා දීලා පසුව රුධිර පීඩනය බලද්දි තමයි මේ තොරතුරු හෙළි වෙලා තියෙන්නෙ. පැරසිටමෝල් සහ අධි රුධිර පීඩනය අතර සම්බන්ධය තව දුරටත් තහවුරු කරන්න වැඩි දුර පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂණ කණ්ඩායම කියනවා.

මීට කළින් අමෙරිකානු පර්යේෂණ කණ්ඩායමකුත් දිගු කාලීන පැරසිටමෝල් භාවිතය හෘද රෝග අවදානම ඉහළ නංවනවා කියල හොයාගෙන තියෙනවා.

පැරසිටමෝල් කොහොමද රුධිර පීඩනය ඉහළ නංවන්නෙ කියල මේ අධ්‍යනයන් වලින් කියල නැහැ. කොහොම වුණත් දිගු කාලීනව සමහර බෙහෙතක් වෙනුවට එක දිගට පැරසිටමෝල් පාවිච්චි නොකර ඉන්න එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි කියන එකයි මේ අධ්‍යනයන්ගෙන් අපට ගන්න තියෙන දේ. 

| BBC Health ඇසුරෙනි |