ලෝකේ ජීවත් වන්නට දෙදෙනකු ඕනෑ වේ ; ටොම් ඇන්ඩ් ජෙරී

ලෝකේ ජීවත් වන්නට දෙදෙනකු ඕනෑ වේ ; ටොම් ඇන්ඩ් ජෙරී

එදා මෙදා තුර ලෝකයේ බිහි වූ විශිෂ්ටතම යුවළ, හොඳම යුවළ, ලස්සනම යුවළ කවුදැයි කවුරුන් හෝ ඔබෙන් අහුවොත් එක එක නම් ඔබේ මතකෙට එයි. හැබැයි ඉතින් මේ කියන්නෙ ලෝකයේ සාර්ථකම යුවළ ගැනයි. හොඳම යුවළ නොවුණත්, සාර්ථකම යුවළක් ලෙස ඔස්කාර් සම්මාන හතක් දිනාගත් යුවළක් ගැනයි. කාටූන් පරම්පරාවේ පැරණිම යුවළ ගැනයි. කාටූන් පරම්පරාවේ අරගලකාරී යුවළක් ගැනයි. දෙන්නව හැඳින්වුයේ ටොම් ඇන්ඩ් ජෙරී කියලයි. දැන්, ඒ දෙන්නට වයස අවුරුදු අසූ එකයි.


මීට වසර අසූ එකකට පෙර  'ජෙරී නමැති මීයෙක් හා ටොම් නමැති පූසෙක් අතර නොසන්සිඳුණු ආරවුලක් ' මැයෙන් නිෂ්පාදනය වී එක රැයෙන් ලොවපුරා ජනප්‍රිය වුණු Tom and Jerry කාටූන් කතාමාලාව නරඹා නොමැති කෙනෙකු මිහිපිට නොමැති තරම්. එක්දාස් නවසිය හතළිහ වසරේ පෙබරවාරි දහවැනිදා ටෙලිවිෂන් කරළියට එන සජීවිකරණ විකට ළමා  කාටූන් කතාමාලාවක් ලෙස Tom and Jerry ලොව පුරා පෙරළියක් කරන්නෙ ප්‍රකට චරිත දෙකක් බවට පත්වෙමින්. ළමා ලොවෙහි පමණක් නොව වැඩිහිටි ලොවෙත් ඉතා සාර්ථක යුවළක් ලෙස ටොම් ඇන්ඩ් ජෙරී හඳුන්වා දෙන්නේ අතිසාර්ථක යුවළක් වන විලියම් හැනා සහ ජෝසප් බාබෙරා විසින්.


වීදි පූසෙකුගේ ගතිපැවතුම්වලින් ඇළුණු  'ටොම්' දැඩි අධිෂ්ඨානශීලි, ආක්‍රමණශීලි ජවසම්පන්න තරුණ පූසෙක්. ඔහු සාමාන්‍යයෙන් ගෘහයක ජීවත් වුවත් සැප පහසු ජීවිතයකට හිමිකම් කීවෙ නෑ.  ටොම්ට ආසන්නයේම  කුඩා දුඹුරු රවුම් කන් ඇති ජෙරී නමැති මීයෙකු ජීවත්වෙයි. ජෙරී ඉතා බුද්ධිමත්. නමුත් සෑමවිටම කුසගින්නේ පෙලෙන ජෙරී චීස් සෙවීම සඳහා ඔහුගේ නිවසින් පිටතට පැමිණෙයි. එවිට අහසින් කඩා පාත් වූවා සේ එකවිටම ටොම් නියපොතු විදහා ජෙරී ඉදිරියේ පෙනී සිටින්නේ සිය වගකීම නොපිරිහෙළා ඉටුකිරීමේ අභිප්‍රාය සිතැතිවයි. ජෙරී අල්ලා ගැනීම සඳහා පසුපස හඹා යන ටොම් ඇන්ඩ් ජෙරීගේ සටන් සංග්‍රාමය ඇරඹෙන්නේ මෙතැන් සිටයි.



දෙදෙනාට දෙදෙනා අවංක සටන් සංග්‍රාමයක නිරත වන මුත් කතාමලාව පුරා ප්‍රේක්ෂකයාට අපූරු විකට සටනක් නිරූපණය වෙයි. කාමරයෙන් කාමරයට දුවමින්, බුමුතුරුණු යට , මුළුතැන්ගෙයි භාණ්ඩ, කොරිඩෝව, ගෘහ භාණ්ඩවල උදව්වෙන් එකිනෙකාට සැඟවෙමින් ද්වන්ද සටනක නිරත වෙයි. ටොම් කපටියි, බොළඳයි, අවුල්සහගතයි. ජෙරී කපටියි, ප්‍රබලයි, වාසනාවන්තයි. කුඩා ප්‍රමාණයේ ශරීරයෙන් යුතු වුණත් ප්‍රේක්ෂකයා මවිතයට පත්කළ හැකි ශක්තියක් ජෙරී සතුයි. බොහෝ විට එය ටොම්ට සමානයි. ජෙරී මෙන් සියගුණයක් උසැති කිහිලිකරු වැනි දෑ පවා සාපේක්ෂව පහසුවෙන් ඔසවමින් ඔහු ටොම්ට ප්‍රතිප්‍රහාරද එල්ල කරයි.

සාමාන්‍ය පූසන් සාමාන්‍යයෙන් මීයන් ආහාරයට ගත්තත් ටොම්, ජෙරීව අහාරයට ගන්න උත්සහ කරන්නේ කලාතුරකින්. ඒ අතින් ටොම් ජෙරීගේ වාසනාවට ලැබී ඇති පූසෙක්දැයි බොහෝ දෙනාට හැඟෙයි. ඒත් ඉතින් කවුරු කොහොම කිව්වත් ජෙරීව නින්දා කිරීමට, රිදවීමට, අල්ලා ගැනීමට ටොම් නොකරනා දෙයක්ද නැත. කෙසේවෙතත් ජෙරීගේ දක්ෂතාව, කපටි හැකියාව, වාසනාව නිසාම බොහෝ එදිරිවාදිකම් හමුවේ වුවත් ජයග්‍රහණය හිමිවන්නේ ජෙරීටයි. කලාතුරකින් ටොම්ට ජයග්‍රහණය හිමිවුණත්
අධිෂ්ඨානශීලි, ආක්‍රමණශීලි ටොම් බොහෝ දේ තිබියදිත් ජෙරී හමුවේ පරාජය වෙයි. ඒ නිසාම කුඩා දරුවන්ගේ, වැඩිහිටියන්ගේ අනුකම්පාව දිනාගැනීමට හැකියාව ලැබෙන්නේ ටොම්ටයි.



මෙම සටන් ජවනිකා අපූරුයි හැබැයි ප්‍රචණ්ඩයි. ජෙරීට හානි කිරීම සඳහා ටොම් විසින් පොරොව, මිටිය, ගිනි අවි, රතිඤ්ඤා, පුපුරන ද්‍රව්‍ය, උගුල්, වස ආදි දේවල් භාවිත කළත් ජෙරීට හානි කිරීම ටොම්ගේ එකම අභිප්‍රායයි.  ඊට නොදෙවෙනි ජෙරීගේ පළිගැනීමේ ක්‍රම වඩාත් චණ්ඩයි.ප්‍රචණ්ඩයි. විටෙක ටොම්ගේ අඩක් කපාදැමීම, හිසගසා දැමීම , ටොම්ගේ නිය පිරුණු ඇඟිලි ජනේලයකට හෝ දොරකට හසු කිරීම, ටොම්ගේ වලිගය වොෆ්ල් යකඩයකට හෝ මැංග්ල් එකකට දැමීම, විදුලි සැර වැද්දවීම, තවත් විටෙක අධි ශීතකරණයකට දමා වසා තැබීම. සෙංකෝලයකින් පහර දීම, පාදයක ගිනිකූරු අලවා ගිනි තැබීම ආදි දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ලබයි. ඒ නිසාම මෙතෙක් නිර්මාණය කර ඇති ඉතා ප්‍රචණ්ඩ සහ වංචා ක්‍රියා ඇතුළත් ප්‍රසිද්ධ කාටූනයක් ලෙස Tom and Jerry විවේචනයට ලක්වුණත් මෙම කිසිඳු දර්ශනයක රුධිරය පෙන්නුම් නොකිරීම විශේෂයි.

කාටූන් කතාමලාව පුරාම කිසිවක් කතා නොකරන Tom and Jerry දුර්ලභ අවස්ථාවන්හිදී ඉංග්‍රීසි වචන දෙක තුනක් කතා කරත් දර්ශන තලයේ හැඟීම් තීව්‍ර කිරීම සඳහා සංගීත අධ්‍යක්‍ෂ ස්කොට් බ්‍රැඩ්ලි ජෑස්ගේ සම්භාව්‍ය සහ පොප් සංගීතය යොදාගෙන තිබේ. ටොම් ඇන්ඩ් ජෙරීගෙ භාෂාව ලෙස සංගීතය යොදාගැනීම ප්‍රශංසනීය ලෙස සිදුකර ඇති අතර ඔවුන්ගේ සිනහව හා කෑ ගැසීම්ද උපක්‍රමිකව අතරින් පතර වෙයි. බාබෙරාට අනුව චරිත කතා නොකිරීම ගැන පැහැදිලි අදහසක් නොතිබුණත් ඔහු වරෙක කියන්නෙ චාලි චැප්ලින් රඟපෑ නිහඬ චිත්‍රපට මෙන්ම දෙබස් නොමැතිව රහට රංගනයන් ඉදිරිපත් කළ හැකි බවයි. එහෙම රංගනයන් අතරින් පතර 'ටොම් ඇන්ඩ් ජෙරී' කැපී පෙනෙයි. ටොම් නොමැතිව ජෙරීවත් ජෙරී නොමැතිව ටොම්වත් කිසිවිටෙක කැපී නොපෙනෙයි.

ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර අදටත් නොඅඩුව ලැබෙන ඒ විශිෂ්ට අරගලය නිසාම ඔස්කාර් සම්මාන 7 ක් දිනා ගත් ටොම් ඇන්ඩ් ජෙරී යුවළ යුග ගණනාවක් පසුකරමින් ලබන වසරේ සිය අසූ දෙවැනි උපන්දිනයටද සැරසෙන හැඩයි.


එකිනෙකාට වධ හිංසා කිරීමෙන් සමානව සතුටු වන මේ දෙන්නා සැලසුම් නොකළ තත්ත්වයකදී හෝ තුන්වන පාර්ශවයකගේ ක්‍රියාවක් හේතුවෙන් එක් චරිතයක් සැබැවින්ම මාරාන්තික අනතුරට පත් වූ බවක් පෙනෙන්නට ඇති විට, අනෙක් චරිතය හෘද සාක්ෂියක් ඇති කරගනිමින් ඔහුව බේරා ගනී. කතාමාලාව පුරාම එහෙම සිද්ධීන් හැමවිටම නොවුණත් සියලු එදිරිවාදිකම් පසෙකලා දෙදෙනාම එකිනෙකාට ළෙංගතු බවක් පෙන්නුම් කරයි. පොදු ඉලක්කයක් කරා යාමේදී සියලු එදිරිවාදිකම් පසෙකින් තබා එකිනෙකාගේ යහපැවැත්ම වෙනුවෙන් අව්‍යාජ මිත්‍රත්වය  පෙන්නුම් කරයි. මෙම කතාමාලාවේ ජීවිත කාලය පුරා අරගලකාරීන් දෙදෙනෙකු වන ටොම් ඇන්ඩ් ජෙරීගේ මොහොතක මිත්‍රත්වයද ලෝකයට බොහෝ දේ කියාදෙයි.

ඉතින් ත්‍රාසයේ සාරය රසය විනෝදය අරගලය එකවිට අපට ලබා දුන් ටොම් ඇන්ඩ් ජෙරී යුවළ සම්මානපිට සම්මාන ලබාගැනීම අරුමයක් නොවේ. සමහර මිනිස් සබඳතා ටොම් සහ ජෙරී වැනි යි.  ඔවුහු එකිනෙකාට සමච්චල් කරති, එකිනෙකා බිම හෙළති, එකිනෙකා සමග කෝප වෙති. නමුත් එකිනෙකා නොමැතිව කිසිවිටෙකත් ජීවත් විය නොහැකියි.

| සිතාරා හංසිනී ද සිල්වා |