නෙරූදා ඔහුගේ හද පාරන විරහව නිමා කරන්නේ ඒ දරුණු රාගික හැඟීමෙන් මත් වීමෙනි. චිත්‍රපටය පුරාම නෙරුදා නොකියූ කතාව,
" ඇය කුණාටුවක් වගේ ඇවිත් , මද පවනක් සේ යන්න ගියා...."
ඇත්තෙන්ම නෙරුදා ඔහුගේ මනස සමඟ කරන දරුණු සටනකින් පසුව එය පවසන්නේ ඇය භෞතිකව පැමිණියා යැයි සිතාගෙනම නොවේ. කවියෙක් නොවුනත් විරහව නම් සැමටම එලෙසම දැනෙන්නේය. ප්‍රේමය එතරම්ම දරුණුය. දරුණු ත්රස්තවාදයක්මය. ඉතිං නෙරුදා කවි ලියූ නිසාම නොව ප්‍රේම කල නිසා එය විරහව පිළිබඳ දරුණු වෙඩි පහරක් ලෙස චිත්‍රපටයෙන් එල්ල වුණි. නෙරුදාගෙ ප්‍රේමණීය ත්‍රස්තවාදී විරහව විග්රහ කරන ,ඔහුගේ මානසික කැළඹීම අතිශයින් සුන්දරය...
ඔහුගේ මනස සුවපත් වන මන:කල්පිත කඳුළු ගඟ........... නෙරුදා නොලියූ කවිය එයයි...
නෙරුදා සක්කිලි යුවතිය කෙරේ ආකර්ෂණය වන්නේ ඒ දරුණු ප්‍රේමණීය හිස්තැනකටය. නමුත් එය .... එක අතකින් මෙලෙසය.
නවාතැනට මුලින්ම එනවිට ඔහුගේ හිත ගන්නේ රන් පැහැයෙන් සැරසුන පාර්වතියයි. ඔහු ඉන්පසුව ඒ පිළිමය ඔහුගේ සයනය අසළට ගනියි. එහි ඇති කාන්තා ලාලිත්‍ය ඔහුව රාගයෙන් මුසපත් කිරීමට සමත් ය. සක්කිලි යුවතිය පෙනෙන්නේ පාර්වතියගේ සැබෑ රුව දකින්න මඟ බලා සිටි ඔහුටය. ලංකාවේ අපිට එය අඩු කුලේ මිනිසුන් හෝ ගැහැණුන් ගැන කතාවක් ලෙස දැනුන මුත් නෙරුදාට එය ලාලිත්‍ය පිරි ගැහැණු පිරුණු ලෝකයක් පමණි. නෙරුදාට හමුවූ ගැහැනු මෙහි ඇති ලෙස,
තම කුලය, කුටුම්භය හෝ සීමාවන් තුල සීමාසහිත ජීවිත ගත කරන ගැහැනිය.
ජීවිතය තුල බිය සැක නොමැතිව ජීවිතට විවෘතවූ ගැහැනිය.
ප්‍රේමයටම කැපවූ, එයින්ම විනාශ වෙන ත්‍රස්තවාදී ප්‍රේමණීය ගැහැනිය.
මේ සියලු ගැහැනුන් හෝ මේ සියල්ලම එක්වූ ගැහැනියගේ රුව පාර්වතිය ලෙස හඳගම ඇඟිල්ලෙන් ඇන විටින් විට පෙනවයි.
නෙරුදා සුන්දර පාර්වති කාන්තා පිළිමය රාගයෙන් ස්පර්ශ කර සක්කිලි ගැහැණිය නොගෙන දමා ගිය රාග වර්ණයේ සාරිය අන්ඳවා ගැහැනිය , සක්කිලි වූවත්, මවක්, ආය අම්මෙක් වූවත් , පාර්වති වූවත් පිරිමියෙකුට ප්‍රේමණීය, ආකර්ෂණීය හෝ රාගික වස්තුවක් ම බව පවසයි.
සක්කිලි තරුණිය තුලින් පාර්වතිගෙ රුව අඩක් පෙන්වීමෙන් කාන්තාව බෙදා වෙන්කර, සයනය මත ඔහු රාගයෙන් මුසපත් වන්නේ සක්කිලි යුවතියගෙන් නොව ඔහුගේ මනසේ ඇඳුන පාර්වතිය සමඟයි. යුවතියගේ රූපය , හැඩය සහ ඇඳුම ඇය පාර්වති ලෙස ඔහු පිළිගෙන ඇති අතර පාර්වතිය ලෙස ඔහු දකින්නේ දූෂණය කරන්නේ, දකුණු ආසියානු ගැහැණියයි. චිත්‍රපටය පාර්වතිය පිළිබඳව ආගමික විශ්වාසය ට ගහන දරුණු පහර අතිශය ආකර්ෂණීය බවත් එය කවියන් පිළිබඳව නොව පිරිමින් පිළිබඳව යැයිද මට අනුව කිව හැකිය. එය සමස්ත පිරිමින්ගේ මනස බව නොහැඟේ නම් පුදුමය.
රතු වර්ණය ඉතාම සුන්දර සහ අර්ථාන්විත ලෙස භාවිතා කල චිත්‍රපටයක් ලෙස ඇල්බොදාරා මට හැඟේ. යුවතිය රතු සාරියක් පමණක් හැඳ සිටිම එය රාගයම සංකේත්වත් කලා වැනිය. රතු ප්‍රේමයත් , රාගයත් වෙන්කරගත නොහැකි ලෙස එහිම අඹරා අපවෙත එවා ඇත. රතු සාරිය, රතු රෝස සමඟ දුඹුරු පැහැ තරුණිය සුන්දර ලිංගික වස්තුවක් බව තවත් කිව යුතුද.
සක්කිලි යුවතියගේ පා සළඹෙහි හඬට දිනක් උදෑසන ඔහු අවදිවෙයි. මට එය අමරදේවයන්ගේ මේ ගී හඬත් ඇසි නොඇසී ගිය ගානයි.
කුමරියක පා සලඹ සැලුනා......
කුමර බඹසර අසපුවේ මා සමවැදි උන් දැහැන් බිඳුනා......
පහත් කුල පිළිබඳව රත්නයියාට රිදෙන තරම එහි අවසානය දක්වාම පෙනෙයි. නමුත් සියලු කුල භේද කුඩු කල හැකි නම් නෙරුදා එය හිස මත තබා යන දර්ශනයම පමණක් සෑහේ.
| නෙළුම් නිසංසලා වික්‍රමසිංහ |