සත්‍යවාදියකුගේ දිනපොත වැසී යයි.!

සත්‍යවාදියකුගේ දිනපොත වැසී යයි.!

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

දේහය මේ වනවිට තලංගම රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඒ මහතා 78 වියෙහි පසුවිය.

" සත්‍යවාදියෙකුගේ දිනපොත "  තුළින් මෙරට පුවත්පත් තීරුලිපි කලාවට නොමැකෙන සටහනක් එක් කර ඇති ඒ මහතා විප්ලවීය පුවත්පත් කලාවේ පෙරගමන් කරුවෙකි.

 “සිළුමිණ“ සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව මෙන්ම දිවයින පුවත්පතතේ “ 08වෙනි පිටුව ” ද සුනිල් මාධව මහතාගේ මතකයේ රැඳෙන පත්තර වැඩ අතරින් කිහිපයක් ලෙස සටහන් කළ හැකිය.

පුවත්පත් ගණනාවකින් සිය මාධ්‍ය භාවිතය ඉදිරියට ගෙනගිය ඒ මහතා දිවයින, හිරු , ලක්මින, ලක්දිව යන පුවත්පත්වල ප්‍රධාන කතෘ ලෙස සේවය කළේය.

එසේම කතුවරයෙකු ලෙස හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු පොත් කිහිපයක් ද  පරිවර්තනය කළේය.

සුනිල් මාධව මහතාගේ චරිතය කේන්ද්‍රගත කර ගනිමින් දයාසේන ගුණසිංහයන් විසින් අවියක් නැති සෙනෙවියා යන නමින් කෙටි කතාවක්ද නිර්මාණය කර තිබේ.

සුනිල් මාධව ප්‍රේමතිලක මාධ්‍ය මෙහෙවරට Comrade.lk ශිර්ෂ ප්‍රණාමය පුද කරමු !